ClickOn

Friday, February 10, 2017

උපාසකකම නැතිවෙන හැටි

අද පෝය දවසනේ මට හිතුනා ධර්මදේශනාවක් පෝස්ට් කරන්න. මේ දේශනාව පොඩි පොත් පිංචක් විදියට හදලා පන්සලේ සිල්ගන්න ආපු උපාසක උපාසිකාවන්ට බෙදලා දුන්නා අපි එක පෝය දවසක. ඔන්න මෙදා මම ඒක  බ්ලොග් අවකාශයේ උපාසක උපාසිකාවන්ටත් බෙදලා දෙනවා. 😄 කියවලා බලන්න, නැත්නම් ඩවුන්ලෝඩ් කරගන්න.


උපාසකකම නැතිවෙන හැටි දැනගන්නකෝ එහෙනම්,

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සත්තිමේ භික්ඛවෙ ධම්මා උපාසකස්ස
පරිහානාය සංවත්තන්ති කතමේ සත්ත
(උපාසක පරිහානී සූත්‍රය, අංගුත්තර නිකාය)
කාරුණික පින්වත්නි,
භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යනුසිව්වනක් පිරිසයි. එසේත් නැත්නම් ශ්‍රාවක බුදු පිරිසයි. මෙයින් උපාසක, උපාසිකා දෙපිරිස එම තත්වයට පත්වීමට අවශ්‍ය කරුණු බොහෝ තිබේ. උපාසක උපාසිකා තත්වය නැති වීමට බලපාන හේතු හතක්, තථාගත බුදු රජාණන් වහන්සේ විසින්,  උපාසක පරිහානීය සූත්‍රය තුළින් දේශනා කර තිබේ. එම කරුණු අවබෝධ කරගැනීම උපාසක උපාසිකා බව රැක ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.
          උපාසක බව අහෝසි වන පළමුවන කරුණ නම් භික්ෂූදස්සනං හාපෙති එනම්, භික්ෂූන් වහන්සේලාගේ ඇසුර අකමැති වීමයි. ශ්‍රමණ දර්ශනය මංගල කරුණක් බව මංගල සූත්‍රයේදී දේශනා කර තිබේ. කුඩා කල සිටම භික්ෂූන් වහන්සේලාගේ ඇසුරට වැටීමෙන්, ලැජ්ජා භය දෙකින් යුතුව, ශීලාචාර ගති පැවතුම්වලින් හා මිනිසත්කම් වලින් පිරි තැනැත්තෙකු බවට පත්වෙයි. බොදු පිළිවෙත අගයන යහපත් චරිතයක් ඇත්තා තෙරුවන් සරණ ගිය, තෙරුවන්ට ගරු කරන, තෙරුවන්ට හිතවත් අයෙකි. ඔහු උපාසකයෙකි. එසේ වීමට මුලින්ම භික්ෂූ ආශ්‍රය අතිශයින් වැදගත්ය.මහානාම සූත්‍රයට අනුව, උපාසකයෙකු තුළ ශ්‍රද්ධාව, ශීලය, ධර්මඥානය, ත්‍යාගශීලී බව හා නුවණැති බව තිබිය යුතු වෙයි. එම ලක්ෂණ වර්ධනය කරගැනීමට භික්ෂුවකගේ ආශ්‍රය අවශ්‍යම වෙයි. එයට අකමැති වේ නම් අංගසම්පූර්ණ උපාසකත්වයක් ලැබීම අපහසුය.
          උපාසකත්වයෙන් පිරිහෙන දෙවන කරුණ සද්ධම්මසවණං පමජ්ජති යන්නය. එනම් කුසල්දහම්හි වහවහා නොයෙදෙන ස්වභාවය හෙවත් වැඩකටයුතු කෙරෙහි දක්වන මැලිකමයි. එසේත් නැත්නම්, දහම් කරුණු ඇසුමට දක්වන අකැමැත්ත හා පමාවයි. තෙරුවන් සරණ ගිය උපාසක කෙනෙකු සසර බියකරු බව ගැන නිතර නිතර මෙනෙහි කළ යුතුය. එනිසා මෙලොව මෙන්ම පරලොව සුව සදහා ද සසර දුක් කෙළවර කරනු සදහාද වහ වහා පින්කම්වල යෙදීම වටියි. කිසිලෙසකින් හෝ පසුබට නොවී, ශ්‍රද්ධාව, ශීලය, දහම් දැනුම, ත්‍යාගශීලී බව හා ප්‍රඥාව වැඩිදියුණු කරගැනීමට කටයුතු කළ යුතුය. එසේ නොවුනහොත් උපාසකත්වය පිරිහෙයි.
          තෙවන උපාසක පරිහානීය කරුණ වන්නේ අධිසීලෙ න සික්ඛති යන්නයි. එනම් අධිසීලයෙහි නොහික්මීමයි. තමාගේ සිල්වත් බව වැඩිදියුණු වන සේ කටයුතු නොකිරීමයි. උපාසක උපාසිකාවන් සැමවිටම උත්සාහ කළ යුත්තේ, තමා හිටියාට වඩා හොද අයෙකු වීමටයි. මේ වසරේ තමා තුළ පැවති සිල්වත්කමට වඩා වැඩි සිල්වත් බවක් ලබන වසරේ පවත්වාගෙන යාමට උත්සාහ කළ යුතුයි. පන්සිල් රැකි තැනැත්තා අටසිල් ද, අටසිල් රැකි තැනැත්තා දසසිල් ද ආරක්ෂා කිරීමට උත්සාහ කළ යුතුයි. කල්යත්ම සිල්වත්කම වැඩිවනවාත් සමගම තමා තුළ පැවති අඩුපාඩු දුරුවලකම්, වැරදි මගහරවා ගැනීමට ක්‍රියා කළ යුතුයි. එසේ නොකළොත් උපාසක බවින් පිරිහෙයි.
          සිව්වන උපාසක පරිහානීය කරුණ, අප්පසාද බහුලො හොති, නවේසු ච මජ්ඣිමේසු ච , ථෙරෙසු ච නවක මධ්‍ය ස්ථවිර සියලු භික්ෂූන් කෙරෙහි අප්‍රසාද බහුලව ඇත්තෙකු සේ ක්‍රියා කිරීමය. නියම උපාසක උපාසිකාවන් කිසිවිටෙක භික්ෂුන් කෙරෙහි කලකිරෙන්නේ නැත. මෙහිදී විශාඛාවන්ගේ චරිතය ආදර්ශයට ගැනීම වැදගත්ය. යම් යම් විනය විරෝධී දුශ්ශීල ක්‍රියාවල යෙදෙන නොහික්මුණු භික්ෂූන් සමාජයේ සිටි බවට සාධක ඕනතරම් තිබේ. එබදු අයගේ ක්‍රියාකලාප නිසා සැදැහැවත් උපාසක උපාසිකාවන් අපැහැදීමක් ඇතිකර නොගෙන, තමාට හැකිනම්, තමා දුටු වරද කරුණාවෙන් පෙන්වාදීමට උත්සාහ කිරීම යහපත්ය. භික්ෂූන් වහන්සේ නමක් සමග අවංකව හිතවත් වී යම් වරදක් පෙන්වාදිය හැකිනම්, එම භික්ෂුව කිසිවිටක අමනාප නොවෙයි. භික්ෂූන් කෙරෙහි අපැහැදී ක්‍රියා නොකොට ශාසනහිතකාමීව ක්‍රියා කරන, යහපත් උපාසක උපාසිකාවන් සිටීම ශාසනයේ පැවැත්මට බෙහෙවින් ප්‍රයෝජනවත් ය. භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය ඇතිකරගෙන ක්‍රියා කොට උපාසකත්වය ද නැතිකරගන්නා ඇතැම් අය සසුනට ද බලවත් හානියක් සිදු කරති.
          පස්වන උපාසක පරිහානීය කරුණ නම් උපාරම්භ චිත්තෝ ධම්මං සුණන්ති රන්ධගවේසි වැරදි සොයන අදහසින් ධර්මය ඇසීමයි. යහපත් උපාසක උපාසිකාවන් ධර්මශ්‍රවණය කරන්නේ, සැබැවින්ම දහම් දැනුම වර්ධනය අපේක්ෂාවෙන්මය. එසේ නැතිව ධර්මයේ අඩුපාඩු සෙවීමේ අදහසින් යමෙක් බණ අසයිනම් ඒ හොද උපාසකයෙකු නොවේ. හරිහැටි දහම් කරුණු ඉගෙන නොගෙන, ඒවා ප්‍රචාරය කිරීම හා විවේචනය කිරීම කිසිසේත්ම නොකළ යුතු දෙයකි. එසේම අතනින් මෙතනින් සොයා දැනගත් කරුණුවලින් තමා දහම් දැනුමැත්තෙකැයි සිතමින් ආඩම්බරවීම හා කැපීපේන්නට උත්සාහ දැරීම ද අනෙක් අය හෙළා දැකීම ද උපාසක ලක්ෂණයක් නොවේ. එතුළින් ද උපාසක බව පිරිහෙයි.
          උපාසකත්වයට හානි කරන සවැනි කරුණ නම් ඉතො ච බහිද්ධා දක්ඛිණෙය්‍යං ගවේසති මේ බුදුසසුනෙන් පිටත වෙනත් පිදිය යුතු දක්ෂිණාර්හ පුද්ගලයන් සොයා ඔවුන් පසුපස ගොස් වෙහෙසීමයි. ඇතැමුන්, සියලු කෙලෙසුන් නසා දෙව් මිනිසුන්ගෙන් වැදුම් පිදුම් ලැබුමට යෝග්‍ය බුදුරජාණන් වහන්සේ දෙවැනි තැනට තබා වෙනත් දෙවි දේවතාවුන් පිහිට පතන අවස්ථාද එමට තිබේ. හරසුන් මිත්‍යා මතවල එල්ලී ඒ පසුපස යන අවස්ථා ද දැකිය හැකිය. එවැනි මිත්‍යා මත අන් අය මතද  පැටවීමට උත්සාහ ගන්නා අවස්ථා ද තිබේ. එයද උපාසක බව පිරිහෙන ලක්ෂණයකි.
          සත්වන උපාසක පරිහානී කරුණ නම්  තත්ථ ච පුබ්බකාරං කරොති  මිත්‍යා මත හා දෙවිදේවතාදීන් පසුපස යන අතර ඒ වෙනුවෙන් වෙහෙසීම හා ශ්‍රමය, ධනය කාලයද කැප කිරීමයි. මෙසේ ක්‍රියාකරන උදවිය සමාජයේ කොතෙකුත් හමුවෙයි. උතුම් බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේගේ දහම හරිහැටි අවබෝධ කරගන්නට අසමත් වීම කෙතරම් අභාග්‍යයක් ද? නිසරු දේ පසුපස ගොස්, දුකට පත්වන මෙබදු අයට මෙලොව පරලොව දෙකෙහිම සැපතක් නම් කිසිවිටෙකත් නො ලැබෙනු ඇත. වරක් සක්දෙවිදුන්, තුන්විටක දොහොත් මුදුන් දී සාධුකාර දෙනු දුටු මාතලී දිව්‍ය පුත්‍රයා විසින් විමසුවේ, ඔබතුමා ඔය නමස්කාර කළේ කාටද? යනුවෙනි. එවිට ශක්‍රයාගේ පිළිතුර වූයේ තමා නමස්කාර කළේ පින්වත්, සිල්වත්, ආදර්ශවත් ගෘහජීවිත ගත්කරන උපාසක උපාසිකාවන්ට බවයි. එයින් පැහැදිලි වන්නේ, සිල්වත් ආදර්ශවත් උපාසක උපාසිකාවන්, දෙවිදේවතාවන්ගේ වැදුම් පිදුම්වලට පවා සුදුසු බවයි. එනිසා පින්වත්නි, උපාසක භාවය ආරක්ෂා වන සේ කටයුතු කිරීමට කවුරුත් අදිටන් කරගනු මැනවි.
තෙරුවන් සරණයි!
හපුගොඩ ශ්‍රී සුභද්‍රාරාම මහජන විහාරාධිපති උඩරට අමරපුර මහ නිකායේ මධ්‍යම දිශාවේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක මාතලේ විද්‍යානන්ද පරිවෙනාධිපති බටුගොඩ සංකිච්චායන නාහිමි.

PDF ඩවුන්ලෝඩ් කරගන්න



1 comment: