Tuesday, January 3, 2017

හීන ගැන කතාවක්

හීන ගැන කතාකරන්නට හිතුනේය. හීන නම් මූලිකව දෙයාකාරයකට කියන්න පුලුවන්ය. ඒ දවල් හීන ත් රෑ හිනත් ලෙසය. දවල් හින ගැන නම් කතාකරන්නට දෙයක් ඇත්තේම නැත. දවල් හීන බලන්නට ගිය ගමරාලගේ මෝඩ පුත්‍රයා මුරුංගා ගහෙන් පෝසත් වූ හැටි නොදන්නා උදවිය නැතැයි මම හිතමි. එනිසා රෑ හීන ගැන කතාකරන්නටම හිතමි. මෙතැන්සිට හීන යැයි මම කියන්නේ ඒවාටය.
හීන ඈත අතිතයේ සිටම මිනිසා කුතුහලයටත් පුදුමයටත් පත්කරන සිතේ ඇතිවන චිත්ත රූප මාලාවකි. කො‍ටින්ම කියනවා නම් චිත්‍රපටියකි. සිත විසින්ම නිර්මාණය කරන හා එම සිත විසින්ම නරඹන හරිම අපූරු චිත්‍රපටියකි. මේවායේ ඇති සුවිශේෂී ලක්ෂණ කීපයක් ලෙස සිදු නොවිය හැකි කිසිවක් නැත සහ කුමක් සිදුවුවද එ් පිළිබඳ අවිශ්වාසයක් බලන මොහොතේ අපට ඇති නොවේ සහ එම සිහිනයේ කිසිදු අඩුපාඩුවක්ද අපට හඳුනාගත නොහැකිය. මෙම විශේෂ ලක්ෂණවලට හේතුව ලෙස මම අදහන්නේ නිර්මාණකරුවා විසින්ම නිර්මාණය රසවිදීමයි. තම නිර්මාණයේ කිසිදු අඩුවක් තමාට නොපෙනේ. වැරදිලාවත් එසේ වුවහොත් එතැනින් ඒ හීනය බිඳවැටිය යුතුය. මක් නිසාද යත් එම අඩු පාඩුව තුලින් මේ දකින දෙය යථාර්ථයක් නොවන බවට සිත විසින්ම තර්කයක් ගොඩනගන නිසාය. ඒ මම අසා ඇති දේවල් අනුව මට හිතෙන හැටිය.
නමුත් විවිධ උදවිය හීන ගැන විවිධාකාර අදහස් දරයි. හීන වලින් අනාවැකි ප්‍රකාශ වන බවත්, සිතේ අභ්‍යන්තරයේ ඇති කැළඹීම් නිරූපණය කරන බවත් ඒ අදහස්වලට උදාහරණ දෙකකි. නිර්මාණකරුවන් හා ප්‍රබන්ධ කරුවන්ද හීන වලින් විශාල ලෙස ප්‍රයෝජන ලබන්නෝය. මා එසේ කීවේ අපි ඉතාමත් ත්‍රාසයට පත්ව බලන චිත්‍රපටයක කොටසක් ඇතැම්විට අවසාන වන්නේ නළුවා හෝ නිළිය බයවී අවදිවීමෙනි. හීන ගැන කතාතරන චිත්‍රපට ගැන සැලකූ විට මට මතක් වන්නේ The Reincarnation Of Peter Proud නම් චිත්‍රපටය යි. Max Ehrlich විසින් රචනා කරන ලද Lee Thompson විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටයට වඩා මගේ සිත් ඇදගත්තේ ඒ ඔස්සේ චන්දන මෙන්ඩිස් විසින් 'සිහිනයක රැඳි රහසක්' නමින් පල කොට ඇති නවකතාවයි.
හීන ගැන කතාකරන්නට නම් තව ගොඩක් දේ මතක් වෙන්නේය. ඒත් මතක් කරනවා හෝ කතාකරනවා තරම් ලිවීම හෝ ටයිප් කිරීම යස වැඩක් නොවේය. මටනම් එය මහා එපාම කරපු වැඩකි. එනිසා මෙතැනින් නවතිමි. අසා සිටි ඔබසැමට ස්තුතියි.

No comments:

Post a Comment